Friday, 15 January 2016

තලෙයිමන්නාර් ජැටිය.

දිනය : 2016-01-10
ස්ථානය : තලෙයිමන්නාර් ජැටිය - තලෙයිමන්නාරම.
ගුගල් සිතියම් පිහිටීම : 9.107581, 79.730414

මේ තමයි එල්.ටි.ටි. ත්‍රස්තවාදී යුද්ධය පටන් ගන්න කලින් තිබුණ ඉන්දු-ලංකා දුම්රිය සේවයේ ලංකාවේ දේශසීමාවට අයත්ව තිබුණ අවසාන දුම්රිය නැවතුම්පල. දැන්නම් මේක ප්‍රයෝජනයට ගන්නේ නැහැ, ඒ වෙනුවට අළුත්ම දුම්රිය නැවතුම්පලක් ඉදිකරලා තියනවා, ඒක නිසා දැන් මේ ජැටිය ගොඩක්ම විනාශ වෙලා තියෙන්නේ. දැන් මේක ආරක්ෂා කරන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්. 

1982 වර්ෂය වගේ වෙනකන් මෙම තලෙයිමන්නාර් ජැටිය ප්‍රයෝජනයට අරගත්තා, මොකද යුද්ධය ආරම්භ වෙන්න කලින් කොළබ කොටුවේ ඉදං ඉන්දියාවේ චෙන්නායි දක්වා කෝච්චියෙන් ගමන්කිරීමේ හැකියාව තිබුණා. ඇත්තටම මේක වෙන්නේ මෙහෙමයි කොළබ කොටුවේ ඉදං තලෙයිමන්නාර් ජැටිය වෙනකන් ශ්‍රී ලංකා දුම්රිය සේවයේ කෝච්චියකින් යනවා ඊට පස්සේ එතනින් කෝච්චියෙන් බැහැල බෝට්ටුවකින් ඉන්දියාවේ ධනුෂ්කොඩි වෙනකන් ගමන් කරනවා අවසාන වශයෙන් ධනුෂ්කොඩි වලින් නැවතත් ඉන්දියානු දුම්රිය සේවයට අයත් දුම්රියකින් ඉන්දියාවේ චෙන්නායි දක්වා ගමන් කරනවා. 

ලංකාවේ ජීවත්වෙන ඉන්දියානු සම්භවයක් තියෙන දෙමළ ජනතාවට තමන්ගේ මුල් ගම්බිම් වලට ගමන්කිරීම පහසුවෙන්න තමයි මෙම ඉන්දු-ලංකා දුම්රිය සේවය පවත්වාගෙන ගිහිං තියෙන්නේ නමුත් යුද්ධය ආරම්භ වීමත් සමග මෙම සේවාව නවතා තිබෙනවා.

ඇත්තටම මට මේ ජැටිය නැරබීමට අවස්ථාව උදාවුනේ මගේ කාර්යාලයේ සේවය කරණ මගේ දමිල මිතුරෙකුගේ නැගණියගේ විවාහ මංගලෝත්සවයට ලැබුණු ආරාධනාව නිසයි. මම මේ ගමන ගියේ රාත්‍රී තැපැල් දුම්රියෙන්, මම කොළබ කොටුවේ ඉදන් පේසාලේ දක්වා දුම්රියෙන් ගියා ඊට පස්සේ එතන ඉදං ජැටිය නරබන්න යන්න මගේ මිතුරා වාහනයක් සුදානම් කර තිබුන. පේසාලේ ඉදං ජැටිය ලගට කිලෝමීටර් 15ක් වගේ තමයි තියෙන්නේ. පේසාලේ තියෙන්නේ මන්නාරම් දුපතේ, මේක තමයි ලංකාවට අයත් ලොකුම දුපත. මේ දුපතේ ජිවත්වන බහුතරය කතෝලික දෙමළ ජනතාව. තවම සංචාරක ශේත්‍රය මේ ප්‍රදේශයේ ප්‍රචලිත නැහැ ඉතිං ඒක නිසා නවාතැන් පහසුකම් සොයාගැනීම ටිකක් අපහසුයි, මගේ යාළුවා නිසා ඒ ප්‍රශ්නේට මට මුහුණ දෙන්න සිදුවුනේ නැහැ. නමුත් අනාගතයේදී මේ සංචාරක පාරාදීසයක් වෙන්න පුළුවන්.

ත්‍රස්තවාදී යුද්ධය පැවති කාලයේදී මෙම ජැටිය නැරබිමේ හැකියාවක් තිබුනේ නැහැ, යුද්ධය අවසාන වුනාට පස්සේ තමයි සාමන්‍ය ජනතාවට මෙම ස්ථනය විවෘත වුනේ. ඉතිං පුළුවන් කමක් තියෙනවනම් ගිහින් බලන්න. පාරවල් ඔක්කොම හොදට තියෙනවා, ඒ වගේම මේ පැත්තේ තව බලන්න ගොඩක් දේවලුත් තියනවා. අපි කොහේ ගියත් පරිසර හිතකාමී විදියට ට්‍රැවල් කරන්න පුරුදු වෙමු. 


අළුතෙන් හදපු පේසාලේ දුම්රියපොළ.

පේසාලේ ටවුන් එකේ ඉදන් පේසාලේ දුම්රියපොළට යන පාර.

ජැටියේ අබලන් තත්වය ගැන නාවික හමුදාව දාපු බෝඩ් එක.

ජැටියේ අතීතය පිලිබදව විස්තර ඇති පුවරුව.

අබලන්වූ තලෙයිමන්නාර් ජැටිය.

මුහුදු වෙරළට ජැටියේ අවසානය පෙනෙන විදිය.

ජැටිය ලග තියන කරවල වාඩියේ ඉවතලන මාළු කන්න එන කුරුල්ලෝ.

ජැටියේ කෙලවරට ගියවිට ගොඩබිම පෙනෙන අයුරු.

ජැටිය උඩට පෙනෙන හිරු බැසීම.

ජැටිය උඩට පෙනෙන හිරු බැසීම.

ජැටිය ලග තියෙන තලෙයිමන්නාර් ප්‍රදීපාගාරය.

ජැටිය අසළ තියෙන කරවල වාඩියක්.